The composition Style of Panchatantra
සංස්කෘත දර්පණ තලයේ පිළිබිඹු වන උපදේශ කෘති අතරින් ශිෂ්ටතම වූත් විශේෂිත වූත් ස්ථානයක් ගනු ලබන්නේ පඤ්චතන්ත්‍රය යි. මනා සංවිධානාත්මක අයුරකින් උපදේශ දානය ඉටු කිරීම එයට ඇති ප්‍රබල ම සාධකය යි. සෑම ග්‍රන්ථයක් ම කිසියම් පදනමක් මත ගොඩ නැගී තිබේ. පඤ්චතන්ත්‍රය විශයෙහි බලන කල එහි විධිමත් භාවයක් දක්නා ලැබේ. යම් ව්‍යුහයක් තුළ අවැසි කරුණු යොදා පිළිවෙළින් සකස් කිරීම තුළින් තත් ග්‍රන්ථ කතුවරයාගේ උත්තුංග ආයාසය මැනැවින් ප්‍රකට කෙරේ.
පඤ්චතන්ත්‍රයේ රචනා ලක්ෂණ පිළිබද විලෝකනය කිරීමේ දී අපට දැකිය හැකි ප්‍රකට ම කරුණ නම් උපදේශාත්මක ප්‍රබන්ධ රචනයේ දී සත්ව චරිත උපයෝගී කොට ගැනීම යි. නරි, සිංහ, සා, ගොන් ආදී සිවුපාවුන් ද කපුටු, කොවුලු හා පක්ෂී ගණයා ද ග්‍රන්ථයේ සඳහන් පරිදි සිය තිරිසන් ගති හැර දමා මිනිස් ආචාර-සමාචාර ආලිංගයන කරමින් අදාළ චරිත නිරූපණයෙහි යෙදෙති. පඤ්චතන්ත්‍ර කතුවරයා උපදෙස දීමේ කලාව සෞන්දර්යාත්මක ලෙසින් ඉදිරිපත් කිරීමට ගත් මඟකි ඒ. මිනිස් සමාජයේ සම්මත සතුන්ගේ ගුණාගුණ ඒ ඒ සත්ව වර්ගයාට අනුව වර්ග කොට දැක්වීමෙන් ද මනුෂ්‍ය ගුණ ඒ හා සම්බනධ කිරීමෙන් ද සත්ව-මනුෂ්‍ය සබැඳියාව ප්‍රකට කරයි.
- සිංහයා-ගාම්භීර පුද්ගලයා
- සිවලා-කුටලී තැනැත්තා
- හාවා-සියුම් හා තීක්ෂණ බුද්ධි ඇත්තා
- බූරුවා-මෝඩ පුද්ගලයා
- ගොනා-ශක්තිය ඇතත් නිසි ප්‍රයෝජන නොගන්නා තැනැත්තා
- මුවා-අහිංසක පුද්ගලයා
ආදී වශයෙන් මිනිස් ගති-ලක්ෂණ සතුනට රිසි පරිදි ආරෝපණය කර තිබේ. මෙලෙස ව්‍යංගයෙන් මිනිස් චරිත ඉදිරිපත් කොට ඒවා පිළිබඳ උපදේශ ලබා දීම පඤ්චතන්ත්‍රෙය් මනා ව දිස්වෙන රචනා ශෛලියකි.
කතුවරයා ගද්‍යයත් පද්‍යයත් යන කාව්‍ය ලක්ෂණ දෙක ම සුසංයෝගයෙන් පරිහරණය කරයි. මෙහිදී ප්‍රබන්ධ තොරතුරු ගද්‍ය බසිනුත් ඒ ඒ තැනට ගැළපෙන උපදේශයන් පද්‍ය බසිනුත් ඉදිරිපත් කරයි. යම් කථාවක් ආරම්භයේ සිට අවසානය දක්වා සමස්තයක් වශයෙන් ගත් කල අදාළ පරිදි ගොතන ලද උපදේශාත්මක ප්‍රබන්ධයකි. ඒ අතරත සදුපදේශීත්වය තවත් වර්ධනය කර ගැනීම සඳහා උපදේශාත්මක අදහස් පද්‍ය මඟින් ද විශද කෙරේ. පාඨකයා වෙහෙසවා කථාන්තර්ගත සද්භාවය සෙවීමට වඩා උපමා කතාන්තර හා ඒ ඒ තැන්හි යොදන ලද පද්‍ය පාඨ තුළින් කතුවරයා බලාපොරොත්තු වූ උපදේශනමය අදහස් නිසර්ගයෙන් ම දැන්වීමට ඉඩ සලසා තිබේ.
යම් කථාවක් අවසානයේ දී පද්‍යයක් යොදා තවත් කථාවකට මුල පිරීම ද තවත් ලක්ෂණයකි. ඒ බව පහත නිදසුනින් පැහැදිලි ය.
අපි ශාස්ත්‍රේෂු කුශලාඃ - ලෝකාචාරවිවර්ජිතාඃ,
සර්වේ තේ හාස්‍යතාං යාන්ති - යථා තේ මූර්ඛපණ්ඩිතාඃ.
(සමාජ දැනුමින් වෙන් වූ ශාස්ත්‍රයෙහි පමණක් කුශලතාව ඇති සියල්ලෝ මූර්ඛ පණ්ඩිතයින් සේ සිනහ කටයුත්තෝ ය.)
මෙම පද්‍යය සිංහකාරක පුවතෙහි අවසානයේ සඳහන් වන අතර ම ඒ සමඟ ම මෝඩ පණ්ඩිතයන්ගේ කථාවට ද සම්බන්ධ කර තිබෙනු පෙනේ. ඇතැම් විට මෙය ග්‍රන්ථාරම්භයේ පටන් අවසානය දක්වා පාඨක පාඨකයාගේ නෙත්-සිත් ඇද-බැඳ තබා ගැනීමට ගත් වෑයමක් බඳු ය. යම් කථාවක් අවසානය තෙක් කියවන පුද්ගලයාට අවසන් සිලෝවෙන් තවත් කතාවක තොරතුරු සැපයෙන නිසා ඒ කථාව ද පාඨනය කිරීමට තරම් කුතුහලයක් ඇතිවනු පෙනේ. එය ග්‍රන්ථ පාඨනයේ විධිමත් භාවය මොනවට ප්‍රකට කරන්නකි.
ඉහතින් දැක්වූ පද්‍යයෙන් කියැවීමට ප්‍රවේශයක් ලබාදෙන අතර කථා ප්‍රවෘත්තිය හා සබැඳි ප්‍රධාන චරිත සේ ම කුමක් සිදුවීමට නියමිත දැයි යන කරුණු පිළිබඳ ඡායාමාත්‍රයන් සපයයි. එම නිසා පාඨකයා හට සම්පූරණ කථාව කුමක්දැයි දැන ගැනීමට කුතූහලයක් ඇති වේ. සංසිද්ධි මාත්‍රයත් ඊට අදාළ වූ පුද්ගල නාමයන් පැවැසීමෙන් පමණක් එම සිද්ධියේ සම්පූර්ණ ස්වභාවය වටහා ගැනීමට නොහැකි ය. ඇතැම් විට, පුද්ගල චරිත විශ්ලේෂණයක් ද සිදු කරමින් එය තවත් පැහැදිලි කිරීම සඳහා උදාහරණ කථාවෙහි සඳහන් ප්‍රධාන චරිත නාමය ද දක්වා තිබේ.
යස්‍ය නාස්ති ස්වයං ප්‍රඥා - මිත්‍රෝක්තං න කරෝති යඃ,
ස ඒව නිධනං යාති - යථා මන්ථරකෞලිකඃ.
(යමෙකු තුළ ස්වයං බුද්ධියක් නැද්ද, බුද්ධිමත් මිතුරෙකු කියන දෙයක් නො අසයි ද, ඔහු මන්ථරකෞලිකයා සේ මරණයට පත් වෙයි.)
මෙහිදී නුවණක් නොමැති පුද්ගලයාගේ ස්වභාවය දැක්වීමට “යඃ මිත්‍රෝක්තං න කරෝති(යමෙක් මිතුරන් කියූ දේ නොකරයි ද...) “, ස ඒව නිධනං යාති(ඔහු මෙලෙස ම මරණයට පත් වේ.)“, යන වදන් උපයෝගී කර ගෙන තිබේ. ඒ අතර ම ඊට අදාළ උපදේශාත්මක කථාවේ ප්‍රධාන චරිතය “යථා මන්ථරකෞලිකඃ(මන්ථරකෞලිකයා සේ)“ යනුවෙන් සඳහන් කොට තිබේ.
තව ද එක ම කරුණ පිළිබඳ භව්‍ය-අභව්‍ය වශයෙන් පරස්පර විරුද්ධ මත දැක්වීම පඤ්චතන්ත්‍ර රචනා ශෛලියේ තවත් එක් ලක්ෂණයකි. යම් මතයක නිවැරදි භාවය හෝ සාවද්‍ය භාවය ගැන කතුවරයා තීරණාත්මක ලෙස සිතන්නට පොළඹවයි. ඒ එක් උපදෙසක් දී අනතුරු ව ඊට විරුද්ධ වන සේ තවත් උපදෙසක් දැක්වීම නිසා ය.
වරං බුද්ධීර්න සා විද්‍යා - විද්‍යායා බුද්ධරුත්තමා,
බුද්ධිහීනා විනශ්‍යන්ති - යථා තේ සිංහකාරකා.
(උගත් කම නොව, බුද්ධිමත් කම හොඳ ය. උගත්කමට වඩා බුද්ධිමත් කම උතුම් ය. බුද්ධි හීනයෝ සිංහ කාරකයන් සේ විනාශ වෙති.)
මෙම පද්‍යයෙන් ලෝකාචාර බුද්ධිය(සමාජ දැනුම) උතුම් බවත් ශාස්ත්‍ර කුශලතාව අප්‍රධාන බවත් දක්වා ඇති නමුත්,
ශතබුද්ධිඃ ශිරස්ථෝ‘යං - ලම්බතේ ච සහස්‍රධීඃ,
ඒකබුද්ධිරහං භද්‍රේ - ක්‍රීඩාමි විමලේ ජලේ.
යන නිදසුනින් ඉහත දැක්වූ සද්මතය, අසද්මතයක් බව දැනවීමෙන් පාඨකයා ව්‍යාකූලත්වයට පත් කරයි. එනම් එක් මතයක් පිළිබඳ ස්ථාවරයක් නොමැති හෙයිනි.
තව ද කථාව ප්‍රබද්ධනයේ දී තාවත්, අපරං ච, කිඤ්ච වැනි සමබන්ධිකරණ පද බහුල ව යෙදීමත් අතීතකාලය ප්‍රකාශිත වාක්‍යයක් කථාරම්භයේ යෙදෙන විට ඒ සෑම තන්හි ම “ස්ම“ නිපාතය යොදා තිබීමත් විශේෂත්වයකි. දණ්ඩින් සෙයින් සමාස පද බහුල කොට හෝ අලංකාර පද වැඩි වශයෙන් නොයොදා තරයේ ප්‍රකාශ විය යුතු අදහස සරල, සුගම බසකින් දක්වා තිබේ.
එමෙන් ම යම් මුඛ්‍ය කථාවක් අරමුණු කොටගෙන ඒ වටා ඊට අයත් තවත් අනුකථාවන් සම්බන්ධ කිරීම ද තවත් එක් පඤ්චතන්ත්‍ර රචනා ශෛලියේ ලක්ෂණයකි. යම් කථාවක දී උද්ගත වන පැනයන් හා ප්‍රත්‍යක්ෂ කළ යුතු කරුණු ඔස්සේ මෙම අනුකථා සුබන්ධිත බව පැහැදිලි වේ.
මේ අයුරින් සලකා බැලීමේ දී
- ගද්‍ය-පද්‍ය මිශ්‍ර භාෂාවක් යොදා තිබීම
- පසු ව ඇති කතාව පිළිබඳ පූර්ව ඉඟියක් දැක්වීම
- පද්‍ය මඟින් උපදේශයන් හා අවධාරිත කරුණු දැක්වීම
- තිරිසන්ගත සතුන් චරිත ලෙස යොදා ගැනීම
- අදාළ සම්බන්ධීකරණ නිපාත උපයෝගී කොට ගැනීම
- එක් ආකල්පයක් මත ස්ථාවරයන් විවිධත්වයෙන් යොමු කිරීම
වැනි ලක්ෂණ පඤ්චතන්ත්‍ර කතුවරයා සිය ග්‍රන්ථකරණයේ දී ආශ්‍රය කරගත් බව අපට මැනැවින් අවබෝධ වේ.
Comments
Post a Comment